චීනය ලෝක බලවතා වීමට මෙරට ජනතාවගේ ජීවිතද පරදුවට තබන තත්ත්වයක් වර්තමානයේ ශ්‍රී ලංකා චීන සබඳතාවල හැසිරීම සැලකිල්ලට ගැනීමේදී පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ චීන ජනාධිපති ෂී ජින් පින් වෙත ඊයේ (03දා) ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ චීන ජනරජය අතර අනේයාන්‍ය සහයෝගිතාව වර්ධනය කර ගැනීම සහ විශ්වසනීයත්වය සාධනීය ලෙස ගොඩනැංවීම සම්බන්ධයෙන් කරුණු 45ක් සහිතව තත්ත්වය පැහැදිලි කරමින් චීන ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් විජයදාස රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කර ඇත.
චීනය ලෝකයේ අනෙකුත් බලගතු රටවල් සමඟ ගැටෙමින් ලෝක බලවතා වීමේ අභිලාෂයෙන් ගෙනයන අරගලය තුළින් මෙම කලාපයේ මෙන්ම ලෝක සාමය බිඳවැටෙමින් පවතින තත්ත්වයක් මතුව ඇතැයිද එහි පළමු වින්දිතයන් ලෙස ශ්‍රී ලංකා ජනතාව පත්ව ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා චීන සබඳතා චීනය ලෝක බලවතා වීමට යන ගමන වෙනුවෙන් යොදාගෙන තිබීමක් පෙන්නුම් කරන බවත් එය කනගාටුවට කරුණක් බවත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා එහි තවදුරටත් සඳහන් කර තිබේ.
විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් කරුණු 45ක් සහිතව වර්තමාන ශ්‍රී ලංකා චීන සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මතුව ඇති ගැටලු පිළිබඳව ඉදිරිපත් කළ ලිපියේ පහත සඳහන් කරුණුද ඇතුළත් වේ.
චීනය විසින් ‘සෙලන් දිවා’ සමාගම හරහා යම් දේපළක් ලබාගතහොත් එය මුල පටන් අවලංගු කරන බව මතක තබාගන්න. එවැනි අවලංගු කිරීමකදී කිසිදු ගෙවීමක් නොකරනු ලබන බව සිහි තබාගත යුතුය.
2005 නොවැම්බර් මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු එකී ව්‍යාපෘතිය තරමක් කල් අදිමින් පැවැති පසුව එකී වරාය ඉදිකිරීමේ කටයුතු ඇමෙරිකන් ඩොලර් මිලියන 580කට නිම කරන බවට එකඟතාවක් ඇති විය. නමුත් මෙරට රාජ්‍ය පාලකයන් ඊට ඇමෙරිකන් ඩොලර් මිලියන 1,285ක් ගෙවා ඇති බව දක්වා ඇත.
ලෝකයේ වෙනත් රටවලින් හෝ ණය දෙන ආයතනවලින් අප ණය ලබාගෙන තිබුණේ වාර්ෂිකව 0.01% සිට 0.1% දක්වා වූ පොලී අනුපාතයක් යටතේ නමුත් ප්‍රථම වතාවට එය 6% ඉක්මවන වාණිජ පොලී අනුපාතයක් මත ණය ලබාගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිදුකළේ ඉතාමත් නිර්ලජ්ජිත ක්‍රියාවක් බව සඳහන් කළ යුතුය.
අප රටේ ඉතිහාසය තුළ සිදුවූ ලොකුම වංචනික සහ දූෂිතම ගනුදෙනුව ලෙස සැලකෙනුයේ එම ගනුදෙනුවයි.
චීන රජයේ සම්බන්ධතාව ඇතිව ඉහත කී ගනුදෙනුවට අමතරව පහත සඳහන් ගනුදෙනුද චීන සමාගම සමඟ ඇති කරගන්නා ලදී.
කොළඹ වරායේ දකුණු පර්යන්තය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ නෙලුම් කුලුන, කොළඹ නෙලුම් පොකුණ රඟහල, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව.
ඉහත කී ව්‍යාපෘති සඳහා ඔබගේ ආණ්ඩුව සහ සමාගම ඍජු ලෙස හෝ චක්‍ර ලෙස අධික පොලියට 2015ට පෙර ණය ලබාදුන් ව්‍යාපෘති අතරින් ප්‍රයෝජනයක් ඇති ව්‍යාපෘතියක් වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරය පමණක් වන අතර අන් සියලු ව්‍යාපෘති නිරපරාදේ සිදුකළ නාස්ති කිරීම් පමණක් බවක්, එකී ණය ලබාදීම තුළින් ඔබ ශ්‍රී ලංකාව ණය උගුලක සිරකොට තබාගෙන ඔබ රටට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීමට කටයුතු කළ බවත් එමඟින් ඔබේ රට ලෝක බලවතා වීමට යන ගමනේ ශ්‍රී ලංකාව එක් යුද පිටියක් බවට පත්කර ගැනීම ඔබගේ අරමුණ වී ඇති බවත් සක්සුදක් සේ පැහැදිලිය.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ‘සහනදායක හවුල් ව්‍යාපාර ගිවිසුම්’ වශයෙන් ඇති කරගත් චීනයට පමණක් සහනදායි වූ ගිවිසුම් දෙක අවලංගු කරගැනීම සඳහා ශේර්ෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් නඩු තුනක් ඉදිරිපත් කර ඇති අතර තවමත් එම නඩු අධිකරණයේ පවතී.
අපගේ පාලකයන් අනුවණ ලෙස සහ අනාගත දැක්මක් නොමැතිව ඔබගේ රටට අසීමිත ලෙස ලබාදී ඇති ආධිපත්‍ය සහ වරප්‍රසාද හේතුවෙන් මෙරට විදුලි ජනනය සහ බෙදා හැරීම සම්බන්ධව පූර්ණ බලය ඇමෙරිකාවට ලබාගැනීම සඳහා මේ වනවිටත් අඥාන පාලකයන් ගිවිසුම්ගත වී ඇත.
පසුගිය ශත වර්ෂය තුළ අප රට විසින් අත්විඳ නොමැති ආකාරයේ ඉතා බරපතළ සහ කනගාටුදායක තත්ත්වයකට අප පත්ව ඇත්තේ අප රටේ පාලකයන් විසින් දූෂිත සහ දේශද්‍රෝහී ලෙස ඉහත කී වංචනික ගනුදෙනුවලට ඇතුළත් වීම නිසාය.
ඔබගේ රටින් අප රටට පොහොර නැවක් වශයෙන් එවන ලද කිසිදු ප්‍රමිතියකින් තොර අපද්‍රව්‍ය සහිත නෞකාව සඳහා මුදල් ගෙවන ලෙස බල කිරීම සහ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව චීනය තුළ අසාදු ලේඛනයට ඇතුළත් කිරීම මඟින් ඔබ කොතරම් කෘෘර සහ අමානුෂික ද යන කාරණය මුළු ලොවටම විදහා පෑ බව ඔබටද තේරුම් යනු ඇතැයි විශ්වාස කරමි.
ඔබගේ රටින් වාණිජ අධි පොලී අනුපාත යටතේ ණයට ගන්නා ලද මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 104ක් (රුපියල් බිලියන 26) යොදාගෙන ඉදිකරන ලද නෙලුම් කුලුන නුදුරේදී ඔබ ලෝක බලය අල්ලා ගැනීමට යන ගමනේදී තොරතුරු හුවමාරු සහ ඔත්තු බැලීම් කටයුතු සඳහා භාවිත කිරීමේ යටි අරමුණින් ශ්‍රී ලංකාවේ පාලකයන්ව සූක්ෂ්ම ලෙස රවටා ඉදිකරවාගෙන ඇති බවට ලෝක ප්‍රජාව සහ ශ්‍රී ලාංකේය ජනතාව තුළ සාධාරණ සැකයක් ඇතිවී ඇත. එකී කුලුන මේ දක්වාම කිසිදු කාර්යයක් සඳහා ආණ්ඩුව විසින් යොදා නොගැනීම හේතුවෙන් එම සැකය බිඳහෙළිය නොහැකි සේ තහවුරු වී ඇති බව පැහැදිලිය.
මීළඟට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ජාතික මැතිවරණය ජනාධිපතිවරණය වුවත් පාර්ලිමේන්තු මැතිවරණය වුවත් එය පවත්වනු ලබන්නේ ජනමත විචාරණයක් සමඟ බවත් ශ්‍රී ලංකාවට අගතිදායක ලෙස හෝ අවාසිදායක ලෙස ඇති සියලු ගිවිසුම්/කොන්ත්‍රාත් ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ අවලංගු කිරීමට ජනතාවගෙන් බලය අයදින බවත් සැලකිල්ලට ගනු මැනව.
එහෙත් වංචා, දූෂණ, කොමිස් මත ඔබ ලබාගෙන ඇති සම්පත් හෝ ගිවිසුම් අවලංගු කරනු ලබන අතර ඒවා සම්බන්ධව අප කිසිදු වගකීමක් නොදරනු ලැබේ. යම්කිසි ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනු ලබන්නේ නම් ඒවායේ කාලය ආරම්භක දිනයේ සිට වසර 15 නොඉක්මවනු ඇත.