2012 නොවැම්බර් 09 වැනි හා 10 වැනි දිනවල වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ කැරැල්ලේදී රැඳවියන් අට දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනා තිස් තුනෙන් එක් චෝදනාවකට පමණක් වැරැදිකරු වූ එවක හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන විත්තිකරුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (12දා) මරණ දඬුවම නියම කළේය.
එම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියොමාල් රංගජීව යන අය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර නොමැති බවට තීරණය කරමින්, ඔහු සියලු චෝදනාවලින් නිෙදාස් කොට නිදහස් කිරීමට විනිසුරු මඬුල්ල නියම කළේය.
මෙම තීන්දුව විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් තිදෙනා විසින්ම ඒකමතිකව සියලු නිගමනයන්ට පැමිණ ගන්නා ලද සමස්ත අධිකරණ තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරන බව සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ගිහාන් කුලතුංග (සභාපති විනිසුරු), ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව ඊයේ දින තීන්දුව සඳහා කැඳවනු ලැබීය.
මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එවක මැගසින් බන්ධනාගාර අධිකාරිව සිටි එමිල් රන්ජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර තිබූ චෝදනා අතරින් චෝදනා හතරකින් විත්තිකරු නිෙදාස්කොට නිදහස් කළ විනිසුරු මඬුල්ල නඩුවේ 33 වැනි චෝදනාව ලෙස ගොනු කර තිබූ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කොණ්ඩ අමිල නම් රැඳවියා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සෘජු සාක්ෂි හා එම රැඳවියා එම කාලය අතර තුළ ඝාතනය වී ඇති බවට පවතින පරිවේෂණ සාක්ෂි, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන කුඩා බණ්ඩාර යන අයගේ සාක්ෂිය ඇතුළු සාක්ෂිකරුවන් හතර දෙනකුගේ සාක්ෂි මත ඔප්පු වන බවට ප්‍රකාශ කළ විනිසුරු මඬුල්ල ඒ අනුව විත්තිකරු එම චෝදනාවට වැරැදිකරු වන බව ප්‍රකාශ කළේය.
එසේම විත්තිකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් එවක මැගසින් බන්ධනාගාර අධිකාරිව සිටි එමිල් රන්ජන් ළමාහේවා විසින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිවාචිකව ඔහුගේ සාක්ෂිකරුවන්ගේ පැවැති සාක්ෂි ලබාදීමේ පරස්පරතාව හේතුවෙන් පිළිගත නොහැකි විත්තිවාචිකයක් ලෙසින් තීරණය කරමින් ප්‍රතික්ෂේප කරන බවද විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවැසීය.
ඒ අනුව පළමු විත්තිකරු හිටපු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව යන අයට එරෙහිව ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ලට ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව තීරණය කරමින් ඔහු සියලු චෝදනාවලින් නිෙදාස් කොට නිදහස් කරන බව විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් 2014 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ විමර්ශන කටයුතු ඉතාමත් මන්දගාමී අයුරින් වරදකරුවන් සොයා ගැනීම පසෙක තබා සිදු වී ඇති බවට නිරීක්ෂණය වන බවත් 2017 වසරේ සිට ඉතාමත් ඉක්මනින් විමර්ශන කටයුතු නැවත ආරම්භ කර ඇති බවද නිරීක්ෂණය වන බව පැවසූ විනිසුරු මඬුල්ල කිසි ලෙසකින් එම විමර්ශන කටයුතු විත්තිකරුවන්ට අගතියක් ඇතිවන ලෙසට බලපෑමක් ඇති වී නොමැති බව පැවැසීය.
2012 වසරේ නොවැම්බර් මස නව (09) වැනි දින වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි රඳවා සිටි සැකකරුවන් 8 දෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා තිස් තුනක් යටතේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව හා බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරී ඉන්දික සම්පත් යන විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2019 වසරේ මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගොනුකර තිබිණි.
අධිචෝදනා අතරෙන් එක, තුන සහ 13 සිට 33 දක්වා වූ අධිචෝදනා දහඅටක් විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව ගොනුකර ඇති අතර අධි චෝදනා පහළොවක් පළමුවැනි විත්තිකාර එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට එරෙහිව ගොනු කර තිබිණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් 2012 එකොළොස්වැනි මාසයේ නව වැනිදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවී තහනම් භාණ්ඩ සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතරතුරදී සිරකරුවන් පිරිසක් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා එහි තිබූ ගිනි අවි සියතට ගෙන කලහකාරී ලෙස හැසිරී තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් කළ දැනුම්දීම අනුව එදින මධ්‍යම රාත්‍රියේ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා නිලධාරීන් කැරැල්ල මැඬපවත්වා සිරකරුවන් භාරයේ තිබූ ගිනි අවි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන්ට භාරදී තිබූ බවට පැමිණිල්ලේ සටහන් වී තිබිණි.
පසුදින එනම් දහවැනිදා අලුයම හතරට පමණ සිවිල් ඇ¾දුමින් සැරසී පළමුවැනි විත්තිකාර පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි සිටි දෙවැනි විත්තිකාර එමිල් රන්ජන් හා තුන්වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි නිලධාරි ඉන්දික සම්පත් නමැත්තා සමඟ එක්ව යුද හමුදා නිලධාරී විසින් ඒ වන විට දණගස්වා සිටි සැකකරුවන් අතර තවත් සිරකරුවන් අසලට ගොස් ඇති බව පැමිණිල්ල මඟින් අධිකරණයට දන්වා තිබිණි.
ඔවුන් එලෙස දණ ගසා සිටි සිරකරුවන් අතර සිටි කිහිපදෙනකුගේ නම් සඳහන් කරමින් ඔවුන්ව තෝරාගෙන බන්ධනාගාර භූමිය තුළ පිහිටි කාර්මික ඒකකය දෙසට රැගෙන යෑමෙන් අනතුරුව විටින් විට වෙඩි හඬ නැඟුªණු බව පසුව එලෙස රැගෙන ගිය සිරකරුවන් දෙනකුගේ මළසිරුරු දක්නට ලැබුණු බවත් පැමිණිල්ලේ කියැවිණි.
මෙම සිද්ධියට අදාළව නඩුව 2019 වසරේ සිට විභාගයට ගැනුණු අතර එහි තුන්වන විත්තිකරුවකු ලෙස නම් කර සිටි බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරි ඉන්දික සම්පත් නමැත්තා 2020 ජූලි මස 15 වැනි දින විත්තියේ සාක්ෂි නොකැඳවාම ඔහුට එරෙහිව ඇති චෝදනා අනාවරණය නොවන බවට තීරණය කරමින් අධිකරණය මඟිින් නිෙදාස් කොට නිදහස් කර තිබිණි.
අනතුරුව එදින පැමිණිල්ලේ නඩු විභාගය අවසන් වූ අතර පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවන් තිස්පස් දෙනකුත් නඩු භාණ්ඩ 78කුත් සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර විත්තියේ නඩුව අගෝස්තු 19 වැනි දින සිට විභාගයට ගැනිණි.
2021 දෙසැම්බර් මස 10 වැනි දින විත්තියේ නඩුව විභාග කර අවසන් කිරීමෙන් අනතුරුව තීන්දුව සඳහා 2022 ජනවාරි මස 6 වැනි දිනට කල් තැබුණු අතර එදිනද නඩුවේ තීන්දුව සකස් කර නොමැති වීම මත ඊයේ දින (12දා) ජනවාරි ෙදාළොස් වන දින දක්වා තීන්දුව කල් තැබිණි.
පැමිණිල්ල වෙනුවෙන් ජේයෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ සංජය ගමගේ යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මරණ දඬුවමට ලක්වූ විත්තිකාර එමිල් රන්ජන් යන අය කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.