මේ දිනවල ඇහැලියගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සැණකෙළියේදී පවත්වන සංගීත ප්‍රසංග මාලාව අතරතුර පසුගියදා (28) පැවැති ප්‍රසංගයට සහභාගි වෙමින් සිටියදී හදිසියේ රෝගාතුරව ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි සන්ෆ්ලවර් ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත (37) මහතාගේ මරණය සිදුව ඇත්තේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් බව ඇහැලියගොඩ මූලික රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත.
මෙදින ඇහැලියගොඩ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා නිවාඩු ගොස් තිබීම නිසා එදින හදිසි මරණ පරීක්ෂණය සිදු කරනු ලැබ ඇත්තේ රත්නපුර රෝහලේ හදිසි මරණ පරීක්ෂක වීරකෝන් මහතා විසිනි.
මේ දිනවල අනුරාධපුර ව්‍යාපාරිකයකු විසින් ඇහැලියගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් පස්වරු 6.00 සිට පෙරවරු 3.00 පමණ වන තෙක් කුඩා ළමුන්ගේ විනෝද ක්‍රීඩා ඇතුළු විවිත්‍රවත් සැණකෙළියක් පැවැත්වෙන අතර, සෑම දිනකම රාත්‍රී 10.00 සිට හිමිදිරි පාන්දර දක්වා සංගීත කණ්ඩායම් රැසක සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංග පැවැත්වේ. ඒ අනුව පසුගිය 28 වැනි දින පැවැති සංගීත ප්‍රසංගයට සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම එක්ව ඇති අතර, එහිදී විවේක ලද අවස්ථාවේ පෙරවරු 2.30ට පමණ ආහාර ගැනීම පිණිස ගොස් සිටියදී මෙම අසනීප තත්ත්වය ඇතිව බිම වැටී ඇති ඔහුව සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හා සංවිධායක මණ්ඩලය එක්ව ප්‍රතිකාර සඳහා ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එක් දරු පියකු වන චලන පියුමන්ත මහතා සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ වසර දහයක පමණ කාලයක සිට වාදන ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිට ඇත.