ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරි සති දෙක තුළදී මාධ්‍ය ඇතුළු සියලු දෙනාට දැනුම් දෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණ බොහෝ ප්‍රමාණයක් මේ වන විට අවසන් බවත් මිනී මැරුමක්ද සියදිවි නසාගැනීමක්ද යන්න මේ අවස්ථාවේ කිව නොහැකි බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර මාස හයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙසට උපදෙස් දී ඇති බව ද ඇමැතිවරයා පැවසුවේය.
මීට අමතරව ජූලි 09 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබී හමූ වූ රුපියල් කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වන සී.අයි.ඩී. වාර්තාව ලැබුණු විට ඇත්ත නැත්ත දැන ගත හැකි බවත් ඇමැතිවරයා කීය. අරගලය පැවති දිනයවල වැඩි වශයෙන් අරගලය මැඬපැවැත්වීමේ කටයුතු සඳහා පොලිසිය යොමුව සිටි නිසා රටේ වෙනත් පරීක්ෂණ කටයුතු කිරීම අවම වූ බවත්, මේ දිනවල අරගලයේ කටයුතු නැති නිසා රටේ වෙනත් ආරක්ෂක කටයුතුවලට යොමු වීමට පොලිසියට අවකාශය ලැබීමත් සමඟ වැඩි වශයෙන් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට හැකිව ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.