බිරිඳ හා දරුවන් සමඟ ඇල්ල පුංචි සිරිපාදය නරඹා පැමිණි රුසියන් ජාතිකයෙකු ත්‍රී රෝද රථයක් තුලදී මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි එක්දරු පියෙක්.
ඇලෙක්සැන්ඩර් නැමැති රුසියා ජාතිකයා සිය බිරිඳ සහ දරුවා සමග සංචාරයක් සදහා මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන්වනදායි. ඔවුන් පසුගිය 8වනදා ඇල්ල සංචාරක නගරයට පැමිණ ඇති අතර එහිදී බණ්ඩාරවෙල ඇල්ල පුංචි සිරිපාදය නැරඹීමට එක්වුණා. පසුව ත්‍රී රෝද රථයකට නැග ආපසු ගමන් ගන්නා අතර තුර දී මෙම පුද්ගලයාට හදිසියේ අසනීප තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඔහු සිහිසුන්ව වැටී ඇති අතර කඩිනමින් දෙමෝදර ප්‍රාදේශීය රෝහල වෙත යාමට කටයුතු කෙරුණා. රෝගීයා බේරා ගැනීමට දැඩි උත්සහයක් ගත්ත ද ඒ වන විටත් රුසියා ජාතිකයා මිය ගොස් සිටි බවටයි වෛද්‍යවරුන් ප්‍රකාශ කලේ.
මෙම පුද්ගලයා අධික රුධිර පීඩනය සදහා ඖෂධ ලබා ගන්නා බවත් මරණය ගැන සැකයක් නොමැති බවත් බිරිද පවසා තිබෙනවා. රුසියා ජාතිකයාගේ හදිසි මිය යාම හේතුවෙන් බිරිද සහ දරුවා දැඩි අසරණ තත්ත්වයකට පත්වුණා.
ත්‍රී රෝද රථ රියදුරු, ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ කාර්ය මණ්ඩලය, ඇල්ල පොලිසිය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ද ඇයට සහාය ලබාදුන්නේ කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තොරවයි.
තමා අසරණ වු අවස්ථාවේ සහාය දැක්වීම පිළිබද රුසියා ජාතික කාන්තාව සියලුදෙනාට කෘතවේදීත්වය පළ කළා.