Home දේශීය පුවත් මෙවර සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

මෙවර සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

by Free News
0 comment

මෙවර සිංහල අලුත් අවුරුද්ද අපට සුවිශේෂි එකකි. මීට වසර කීපයකට පෙර කොරෝනා වසංගතය පැතිරයාම නිසා වසර කීපයක් අවුරුදු සමරනවා තබා ගෙන්ගෙට යාමටවත් නොහැකිව මුඛවාඩම් තදකරගෙන සිටීමට අපට සිදු විය. එවිට ආගන්තුක සත්කාර කිරීම, වැඩිහිටි නැමදීම , අලුත් ඇඳුම් ඇඳ චාරිත්‍ර ඉටු කිරීම, ආහාර පිසීම, ජන ක්‍රීඩාවල නිරතවීම හා ගනුදෙනු කිරීම, අවුරුදු උත්සව පැවැත්වීම කිසිසේත්ම කළ නොහැකිව තිබුණි. ඒ රෝග උවදුරින් යම්තම් හෝ මිදෙන විට රට ආර්ථික අතින් බිංදුවටම වැටුණි. පිටරටවලින් සිඟාකෑමට පවා අපට සිදු විය. ණයට ඉල්ලා, එදාවේල සපුරා ගැනීමට සිදු විය. තෙල් පෝලිම් , ගෑස් පෝලිම්වල කල් ගෙවන්නට සිදු විය. අඳින්න කියන්න ඇඳුමක් ගන්න තබා එදා වේල සරිකර ගන්න බොහෝ මුදලක් වියදම් කිරීමට සිදු විය. සමහරු මන්දපෝෂණයෙන් පෙළෙන තත්ත්වයට පත් වූහ. බොහෝ දෙනෙකුට රැකියා අහිමි විය. යන එන මං නැති විය. මත්රකුසාගෙන් රට ඇලළී ගියේය. හොරකම-වංචාව, බොරුව රජ කිරීම තුළ එකිනෙකා අතර තිබූ අන්‍යෝන්‍ය සහයෝගය සිඳී බිඳී ගියේය. ඒ නිසා ආගම දහම ඇදහීමට කිසිවකුට සිත් දුන්නේ නැත. ඒ නිසා එකිනෙකා අතර සාමය වෙනුවට අසමගිය රජ කරන්නට විය. එහෙත් මේ හැම එකක්ම කර්මයටම භාර නොදුන්නත් සැබවින්ම එදා පැවති ග්‍රහ විෂමචාරයන් නිසා සිදු වූ ඒවා බව සිතන්නට අපට කදිම සාක්ෂි විය. සෙනසුරු පීඩාවීම – ගුරු පීඩාවීම – සිකුරු – රාහු-කේතු පීඩාවීම ආදි ප්‍රචලිත සිදුවීම් අපට කරදර දෙන්නට වූවා වෙන්නට පුළුවන. එහෙත් 2023.01.17 දින සෙනසුරු කුම්භ රාශිගතවීම ඇතුළු තවත් බොහෝ ග්‍රහ මාරුවීම් සැලකිල්ලට ගත් කල අද අපට යහපත් ලෙස ජීවත් වීමට බලපා ඇත. ඩොලරයේ අගය ඉහළ යාම හා රුපියලේ අගය අඩුවීම යන කරුණු ලෝකායතන කේන්ද්‍රයේ මේෂ රාශියට අනුව කටයුතු සිදු විය. ඒ නිසාම අපට පිටරටවලට දුක කියන්නට සිදු විය. එහෙත් නව වසර උදාවත් සමඟ ඒ බොහෝ දේ අපෙන් ඉවත්ව යහපත් රාජ්‍ය නායකයකු ඍජු තීන්දු තීරණ ගන්නා අයකු ලෙස පත්වීම නිසා දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීම, සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර දියුණුවකට පත් කිරීම, විදේශ ණය මුදල් අනුමත කරවා ගැනීම , තෙල් පෝලිම්, ගෑස් පෝලිම් අවසන් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු ඕනෑ එපාකම් රාශියක් සපුරා ගැනීමට අපට හැකි විය. මේ හැම එකක්ම අපට නිකම්ම ලැබුණු කොට නව සැලසුමකට අනුව කටයුතු කිරීම, නව ප්‍රතිපත්තියකට අනුව කටයුතු කිරීම මෙන්ම අපගේ ග්‍රහ බලපෑම් අනුව කරුණු කාරණා උදාවීම යැයි සිතීමට බොහෝ සාධක අපට ඉතිරි වී ඇත. ඒ අනුව සූර්යයා ගෝචර ගමනේ සියලු රාශි පසුකොට අවසන් රාශිය වන මීන රාශියෙ සිට යළි මූලාරම්භය වන මේෂ රාශියට පැමිණ බලවත් වීම අපගේ බව භෝග සරුවීම, සිතුවිලි යහපත් වීම, එකිනෙකා අතර සාමය සමඟිය දලුලා වැඩීම, ආර්ථික ශක්තිය ඉහළ යාම වැනි මූලික අවස්ථා උසස් කිරීමට බො‍හෝසෙයින් බලපානු ඇත. කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රයට අනුව විදේශ ආධාර, ලාංකේය ව්‍යාපාර දියුණු වීම, මිනිස් සිත්සතන් එකමුතුකමින් පෝෂණය වීමට නියමිතය.

තවද – සිංහ ලග්නය සහිත ජනරජ කේන්ද්‍රයට අනුව ද රජය ශක්තිමත් වීම, බොහෝ පිරිස් එක තැනකට එකට එකතුවීම යහ දැක්ම යහපැවැත්ම ඇති වීම, විරෝධතා සීමාවීම, විදෙස් ආධාර හා උපකාර වැඩිවීම ජනතාවගේ රැකියා අවස්ථා වැඩි දියුණුවීම හා ගොවි ජනතාවගේ ගැටලු සෞඛ්‍ය ගැටලු අවසන් වීම වැනි කරුණු රැසකට වාසනාව මතු කරනු ඇත. නව අදහස් වලට තැනදීම හා දේශීය නිෂ්පාදනවලට ඉහළ මිලක් ලෝක වෙළෙඳපොළ තුළ අපට හිමිවීම යන කරුණු කාරණා නිසා අපට මෙවර සිංහල අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට වාසනාව උදාවනු ඇත.

මෙම අවස්ථාව ඔබට ඔබේ ලග්නය අනුව කෙසේ දැයි බලමු.

සිංහල අලුත් අවුරුදු ලග්න පලාපල

මේෂ -හදිසි ධන ලාභ

මේෂ ලග්නය හිමි ඔබට ධන සම්පත් උරුමවීමේ වාසනාව පවතී. ව්‍යාපාර දියුණුව මෙන්ම වෘත්තීය ජයග්‍රහණ මෙහිදී වැදගත් වෙයි. තම ආත්මාභිමානය දැනවෙන අතර, රැකියා ස්ථානයේ කැපීපෙනෙන තත්ත්වයක් මතු කරයි. පිටරට යෝග හා හදිසි විදේශ ගමන් යෙදෙනු ඇත. අඩුතරමින් විදේශ රටක සිට පැමිණි අයකු නිසා ඒ මඟින් ආර්ථික වාසියක් හිමිවේ.

නව ව්‍යාපෘතියකට අත ගසන අතර, ගෘහ ජීවිතය කාර්යබහුල වනු ඇත. තම අධ්‍යාපන කටයුතුවල සැලකිය යුතු ප්‍රවර්ධනයක් මෙන්ම අලුත් අලුත් විෂයයන් ඉගෙනීමට යොමුවනු ඇත. වාහන පල, නව නිවාස පල මෙන්ම අසල්වාසි හිත මිතුරන්ගෙන් ප්‍රසාදය හි‍මිවේ. නි‍ෙවසේ කටයුතු අතර ආගමික උත්සවයක් පිළිබඳ කතිකාවක් ගොඩනැඟෙනු ඇත. තම වැඩිහිටි පාර්ශ්වයෙන් උදාවන විරෝධතා නිසා කිසියම් දේපළක් පිළිබඳ තිබූ බලාපොරොත්තුව අත්හැරීමට සිදුවේ. ශරීර සෞඛ්‍යය අතින් ප්‍රවේශම් විය යුතු කාරණාව නම් උරහිස ආශ්‍රිත හදිසි ආපදාවකට ඉඩ තිබෙන නිසයි. හිතට වධ දෙන කරුණක් නිසා අධික රුධිර පීඩනය මතු වීමට ද ඉඩ ඇත. තමා අදහන ආගමික කටයුතුවලට වඩ වඩාත් යොමුවීම සුබයි.

වෘෂභ-විලාසිතා වලට පෙලඹේ

ඉතා සුබ වකවානුවකි. තම ආදර සබඳතා පුළුල් වේ. අවිවාහක අයට මංගල යෝගද විවාහකව සිට ගැටලුවලට මුහුණ දී සිටි ඔබට සුවිශේෂී ලෙස ගැටලු දුරු වෙයි. කාන්තා පාර්ශ්වයේ අය හුදෙක්ම විලාසිතාවලට වඩ වඩාත්ම යොමුවේ. ඒ සඳහා විවිධ මාර්ගවලින් ආර්තථික ප්‍රතිඵල ලැබේ. පිටරට ගමන් පිළිබඳ අදහස් කර සිටි අයට එම අදහස් සපල වේ. නව නිර්මාණකරණයට එනම් ඡායාරූප නාට්‍ය හා රංගනය , සාහිත්‍ය පුවත්පත් කලාව පිළිබඳ උනන්දුවක් ඇති අයගේ අරමුණු ඉටුවේ. රටේ ජනප්‍රියභාවයට මෙන්ම කා අතරත් ආදර කරුණාවට භාජනය වේ. ගෘහ ජීවිතයේ බොහෝ අඩුපාඩු සපුරා ගැනීමට හැකි වන අතර, විවිධ ආකාරයේ පරිත්‍යාග හිමිවේ. වෘත්තීය මට්ටමේ විවිධ පීඩාකාරි අවස්ථා මතු වුවද නොබියව පෙරට යාමට දරන ප්‍රයත්නය සපලවේ. නිවසේ ආගමික කටයුත්තකට මුල්තැන දෙන අතර, නව ව්‍යාපෘතියකට මුල පිරේ. ශරීර සෞඛ්‍ය අතින් ප්‍රවේශම් විය යුත්තේ උගුර – කන – නාසය පිළිබඳ උවදුරු පැමිණෙන නිසාය. කිසියම් ආකාරයක පපුවට බලපාන සෙම් තත්ත්වයක් නිසා කලක් ප්‍රතිකාර ගැනීමටද සිදුවේ. තම ආධ්‍යාත්මික දියුණුව පිළිබඳවද සිතයි.

මිථුන-රැකියා අභිවෘද්ධිය

ඉතා වාසනාවන්ත ලෙස රැකියාවේ ගැටලු විසඳේ. ආර්ථික ප්‍රතිලාභද හිමිවේ. නව ව්‍යාපාරයකට අතගසයි. අලුත් විදියට සිතා තම ආදායම් මාර්ගය නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට සිතයි. බොහෝ මිත්‍ර සංගම් නිසා තම අභිවෘද්ධිය සැලසේ. පිටරටක පදිංචියට පවා වාසනාව පවතී. තම ආගමට වැඩි නැඹුරුවක් හා නිවසේ ආගමික කටයුතු රැසක් සිදුවනු ඇත. සමාජ සේවා කටයුතු කෙරෙන් ප්‍රසාදයට ඇගැයීමට ලක්වනු ඇත. ගෘහ ජීවිතයේ යහපත් ප්‍රතිලාභ හිමිවේ. නව යොවුන්වියේ පසුවන අයට අභිවෘද්ධිය උදාවේ. නව ආර්ථික ක්‍රමෝපායන් සැලසේ. දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර, හදිසි වියදම් පැත්තක්ද පවතින නිසා සකසුරුවම අරපිරිමැස්ම හුරු විය යුතුය. ජීවිතයේ පැවති බොහෝ ආර්ථික ගැටලු රැසකට විසඳුම් ලැබේ. තම බලාපොරොත්තුවකට අනුව අලුතින් අරඹන ව්‍යාපාරයක ලාභ ප්‍රතිශතය ඉහළ යයි. ශරීර සෞඛ්‍යය අතින් ඉතා සැලකිලිමත් විය යුතුය. හිසට තුනටියට අගුණ පළවන අතර, ගින්දර විදුලිය ආශ්‍රයෙන්ද ප්‍රවේශම් විය යුතුය. යම් විදියක හිතට දැනෙන ආවේග පාලනය කරගත යුතුය. නැතහොත් සතුරන් ඇතිවේ.

කටක-සතුරු පීඩා ජය ගනී

ඉතා වාසනාවන්ත වෙයි. ආර්ථික වශයෙන් උසස් වේ. නව ආයෝජනයකට පසුබිම වැටේ. පිටරට ගමන් මෙන්ම යම්කිසි ව්‍යාපෘතියකට යොමුවීමට වාසනාව උ‍දාවේ. රැකී රක්ෂා දියුණුව මෙන්ම පැවති බාධා දුරු වී සතුරු පීඩා ජය ගැනීමට හැකිවේ. ගෘහ ජීවිතයේ කටයුතු අඩාළවේ. ඒ තමා කාර්ය බහුල වීම නිසාය. පිටරටක නොයනවා නම් සිය ගම්පියස වාසස්ථානය වෙතින් ටික කලකට දුරස්වයාමට සිදුවනු ඇත. සොර සතුරු බලවේග මැඬ පැවැත්වීමට තමාට ශක්තිය උදාවේ. තමා විසින් යෝජනා කළ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම නිසා රැකියා ස්ථානයේ ඇතිවන අභිවෘද්ධිය හේතුකොටගෙන තමාට සිය ප්‍රධානින්ගේ ඇගැයීමට ප්‍රසාදයට ලක් වීමට වාසනාව ඇතිවේ. අධ්‍යාපන කටයුත්තක යහපත් ප්‍රතිඵල උදාවේ. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් නැත. ඒ තුනටිය දණහිස ආශ්‍රිත උවදුරු විය හැකි නිසාය. නව ආදර සබඳතා මතු කෙරේ. එහෙත් සුපරික්ෂාකාරි විය යුත්තේ විටින් විට තම ජීවිතයට විවිධ නින්දා අපහාස චෝදනා මතු වීමට ඉඩ තිබෙන නිසාය. සිය මවු පාර්ශ්වයේ අයකුට එළඹෙන උවදුරක් නිසා වෙහෙස කරවීමට ඉඩ ඇත.

සිංහ-ව්‍යාපාර ලාභ

ව්‍යාපාරවලින් ලාභ ලැබේ. තම අභිවෘද්ධිය සඳහා සෙසු අයගේ සහාය හිමිවනු ඇත. විසිතුරු වෙළඳාම්වලින් ප්‍රගතියක් උදාවේ. තම සිතිවිලිවලට අනුව වෘත්තීය මට්ටමේ වෙනස් කිරීම් ප්‍රතිඵලදායක වනු ඇත. තමා මුහුණ පා සිටි ආර්ථික ගැටලුවකට පිළිතුරු ලැබේ. ඉල්ලුම් කර තිබූ බැංකු ණය මුදලක් හිමිවීම නිසා අලුත් සැලසුමකට අනුව කටයුතු වෙනස්කර ගත හැක.

නව මිත්‍ර සංගම් ඇතිවේ. පවුලට නව සාමාජිකයකු එකතු වේ. කොතෙක් බාධා පැමිණුනද අධිෂ්ඨානයෙන් පෙරට යාමේ ගතිය පළවනු ඇත. ගෘහ ජීවිතය කාර්යබහුල වේ. අධ්‍යාපනික මට්ටමේ විවිධ ජයග්‍රහණ ද බාහිර ඉගෙනුම් ප්‍රතිඵල ද උසස් වනු ඇත. තමාට කලකට පසු මුණගැසෙන අයකුගේ උපකාරයෙන් නව ආර්ථික ක්‍රමයක් අනුගමනය කිරීමට සිදුවීම නිසා සිතට සතුට අභිවෘද්ධිය උදාවේ. පවුල් ජීවිතයට යම් යම් පුද්ගලයින්ගේ අතපෙවීම් නිසා සිත් තැවුල් කම්කටොලු මතුවීමෙන් ඉදිරි ගමනට යම් බාධක තත්ත්වයක් උදාවේ. ශරීර සෞඛ්‍යය අතින් මුත්‍ර දෝෂ, වකුගඩු හා මුත්‍රගල් අවදානම මතු කිරීමෙන් ශල්‍යකර්මවලට පවා මුහුණ දීමට සිදුවේ. සිය ආගමික කටයුතුවල නිරතවීමෙන් සිත ශක්තිමත් කර ගන්න.

කන්‍යා- අධිෂ්ඨානය ජය ගනී

ආර්ථික ප්‍රතිලාභ සහිතයි. අධිෂ්ඨානය ජය ගනී. වෘත්තීය ජයග්‍රහණ මෙන්ම ව්‍යාපාර ලාභද ඒ අතර වෙයි. අවිවාහක අයට මංගල යෝගද විවාහ වී ගැටලුවලට මුහුණ දී සිටි අයට යහපත ද මානසික සුවය ද උදාවේ. පවුලට නව සාමාජිකයකු එකතු වන අතර, තම දූ දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් උසස් ලෙස බුක්ති විඳීමට හැකිවේ. නිවසේ උත්සවශ්‍රීියක් මතු කෙරෙන අතර, ආගමික උත්සවයක් හෝ ප්‍රියසම්භාෂණ කටයුත්තක් සිදුවනු ඇත. සිතට දැනෙන සැනසීම නිසා කලා නිර්මාණ බිහි කිරීමට වාසනාව උදාවේ. ගායනය , වාදනය, නර්තනය යන අංශවල නිරත අයට සුබවාදි ප්‍රතිඵල උදාවේ. ගමේ යම් ජනප්‍රියතාවකට පත්වේ.

සතුරු පීඩාවලින් නිදහස් වීමටද කලක් තිස්සේ තමාට අහිමි වී තිබූ දේපළක් පිළිබඳ නීති ගැටලු ලිහිල් වේ. තම එදිනෙදා කටයුතු බහුල වීම නිසා යම් සිත්තැවුල් කම්කටොලු උදා වුවද ආගමික කටයුතුවලට වඩ වඩාත් යොමු වීම තුළින් සහනය අභිවෘද්ධිය උදාකර ගත හැක. යම් යම් අවස්ථාවල සිතට දැනෙන ආවේගාත්මක සිතුවිලි නිසා රාජකාරියට, ව්‍යාපාරයට බාධා සැලසීමට පුළුවන. දණහිස ආශ්‍රිත හා තුනටිය ආශ්‍රිත උවදුරු නිසා ශරීර සෞඛ්‍යයට යම් තරමක ගැටලු උදා කෙරෙනු ඇත.

තුලා- පදනම්සහගත අනාගතයක්

ආර්ථික ප්‍රතිලාභ සහිතයි. හදිසි ධන ලාභයක් පෙන්වයි. කලකට පසු සිතට සහනයක් දැනෙනු ඇත. වාහන පල, නව නිවාස පල මෙන්ම රැකියා අභිවෘද්ධිය සහිත වෙයි. ආගමික කටයුතුවලට වැඩි කැපවීමක් පෙන්වයි. පිටරට යෝග සහිතයි. දුර බැහැර සිට පැමිණි ඥාතියකු නිසා ද ආර්ථික ප්‍රතිලාභයක් උරුමයි. විවාහගතව පැවති ගැටලුවලට නීතියෙන් සුබවාදී පිළිතුරු ලැබේ. අධ්‍යාපනික මට්ටමේ ජයග්‍රහණයක් නිසා සිතට සතුට දැනේ. එය තමා කරගෙන යන රැකියාවට රුකුලක් ද වනු ඇත. ගෘහ ජීවිතයේ කාර්ය බහුලතා නිසා පෞද්ගලික කටයුතු කීපයක් මඟ හැරෙනු ඇත. එයට අඹුසැමියන් අතර යම් යම් මතභේද හට ගැනීමට හේතුවේ. නව ව්‍යාපාරයකට අතගසයි. තමා කෙනෙකුට දී තිබූ නැවත ලබා ගැනීමට නොහැකිව සිටි ණය මුදලක් නැවත තමාට ලැබීම නිසා නව ව්‍යාපෘතියකට අතගසයි. ඉදිරි අනාගතය වෙනුවෙන් නව සැලසුමක් ක්‍රියාත්මක කරයි. තමා කිසිවකුට අත නොපා ජීවත් වීමට හැකි පදනමකට ජීවිතය ගොඩනඟා ගනී. කුස ආශ්‍රිත අජීර්ණ නිතර නිතර යෙදෙන අතර, උරහිස දණහිසට ද උදාවිය හැකි අතුරු ආන්තරා තම ශරීර සෞඛ්‍යයට තර්ජනයක් විය හැක.

වෘශ්චික-තරුණ තරුණියන්ට හොඳ කලක්

දේපළ ඉඩකඩම් හිමිවේ. පැවති නීති ගැටලුවකින් නිදහස් වේ. දරු සම්පතකට වාසනාව උදාවේ. නිවසේ ගැලවුම්කරුවා වීමට වාසනාව උදාවේ. ආලය – ආදරය වැනි කටයුතු නිසා සිතට නිතර නිතර සහනය ලැබේ. හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය නැවත තමා කරා එනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ද තරුණ තරුණියන්ගේ සබඳතාවල හොඳ කලක් යාමට ද බලපායි. නිවසේ කටයුතු ඉතා සාමකාමිව කරගෙන යාමට හැකිවීම ද ගෘහ ජීවිතයේ ඕනෑ එපාකම් රැසක් සපුරා ගැනීමට ද හැකිවේ. තමා මුහුණ දී සිටි විශාල ආර්ථික ගැටලුවකට විසඳුම් ලැබේ. අධ්‍යාපන මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමි වන අතර, වෘත්තීය මට්ටමෙන් මුහුණ දී සිටි සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල සතුටුදායක වේ. දරුවන් බලාපොරොත්තු වූ අයට වාසනාවන්ත පුත්‍ර ඵලයකට හේතුවේ. උසස් ව්‍යාපාරවල මෙන්ම සිතට සතුට දැනෙන කටයුතුවල නිතර නිතර සහභාගි වීමට අවස්ථාව උදාවේ. මවුපිය සබඳතා තරවේ. නව ව්‍යාපාරයකට අවශ්‍ය ආම්පන්න එක් රැස්කර ගැනීමට හැකිවේ. ශරීර සෞඛ්‍ය අතින් පපුවේ සෙම හතියට බලපායි. ශ්වසන ආපදා බහුල වේ. තුනටියේ උගුරේ ආපදා තත්ත්වයක් මතු කෙරේ. උඩ නැඟීම් බිම පැනීම් හා ගින්දර ආශ්‍රිත කටයුතු කෙරෙන් ප්‍රවේශම් විය යුතුය.

ධනු-ආත්ම අභිමානය ඉහළ යයි

හදිසි ධන ලාභයකට හේතුවෙයි. ලොතරැයි ජයග්‍රහණයක් ඒ අතර වෙයි. තමාට භෞතික සම්පත් උරුමකම් ද ලැබේ. ඒ අතර වාහන, නිවාස,ඉඩම් දේපළ හිමිකම් ද විය හැක. දරුවන්ගේ කටයුතුවලට වැඩි කැපවීමක් කිරීමට සිදුවේ. පිටරට ගමන් සපල වේ. නිවසින් දුර බැහැර ගමන් සපල වේ. වෘත්තීය මට්ටමේ වෙනසක් සුබවාදී ලෙස ඉටුවේ. ඔබට තම ආත්මාභිමානය ඉහළ යන කරුණුවලට මුහුණ දීමට වාසනාව උදාවේ. අධ්‍යාපන ජයග්‍රහණ මෙන්ම තම දූ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ජයග්‍රාහි අවස්ථාවලට මුහුණ දීමට වාසනාව ඇත. දුරස්තව සිටි අය නැවත ළංවනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. කලක් නීතියේ ඉටු කර ගැනීමට නොහැකිව තිබූ ගැටලු රැසකට පිළිතුරු ලබා ගැනීමට වාසනාව උදාවේ. නිවසට අලුත් ගෘහ භාණ්ඩ රැගෙන ඒමට හැකිවේ. තවද නව ඇඳුම් පැලඳුම් පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වනු ඇත. තමා වෙනුවෙන් නිතරම පෙනී සිටින අයකුගේ මූල්‍යමය පරිත්‍යාගයක් නිසා යහපත උදාකර ගැනීමට හැකිවේ. ශරීර සෞඛ්‍යය අතින් බලන විට මුත්‍ර ආපදා හා මුත්‍ර ස්ථානගත ශල්‍යකර්ම පවා උදාවීමට පුළුවන. උපරිම වතුර පානය නිසි වේලාවට ආහාර පාන ගැනීම සුබ වෙයි.

මකර-පැවති නීති ගැටලු අවසන්වේ

යහපත් සිතුවිලි සිතට ගලා එයි. ඒ නිසාම මානසික සුවය උදාවේ. ඒ තුළින් තමා කරන වෘත්තීය මට්ටම උසස් වේ. ව්‍යාපාර සඳහා කැපවීම ද ඉහළ වැටීම නිසා ආර්ථික සුබවාදී බව ඉස්මතු වේ. දේපළ ඉඩකඩම් හිමිකම නව උරුමයකට හේතු වෙයි. පැවති නීති ගැටලු චෝදනා අවසන් වේ. ඉතා පැහැදිලි අරමුණක සිට ඉදිරියට යාමට වාසනාව උදාවේ. ආධ්‍යාත්මික දියුණුව – නිවසේ ආගමික කටයුතුවලට මුල්තැන දීම නිසා වෙනදාට වඩා සුබවාදී අදහස් ගලා එයි. තමා ළඟ සිට ඈත් වූ පිරිස් යළි සොයා එයි. ඉගෙනුම සපල වේ. උසස් අධ්‍යාපන ප්‍රතිඵල භුක්ති විඳීමට හැකිවේ. ඒ තුළින් සමාජ ප්‍රතිචාර සුබ වෙයි. තමා කරන රැකියාවක් වෙත්නම් ඒවායේ ජයග්‍රහණ උදාවේ. තම අසල්වාසි පැසසුම් හා පිළිගැනීම් මතු කෙරේ. එදිනෙදා ගෘහ ජීවිතය කාර්ය බහුල වන අතර, සමාජයේ කැපී පෙනෙන සිදුවීම්වලට මුහුණ දීමට හැකිවේ. ශරීර සෞඛ්‍ය යහපත් වුවද විටින් විට මතු කෙරෙන වා – පිත් – සෙම් දෝෂ නිසා අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ. යටිබඩ ආශ්‍රිතව පවත්නා සැරක් උෂ්ණයක් නිසා ආසාත්මිකතා දැනෙන නමුදු උපරිම වතුර පානය හා සැර උෂ්ණ ආහාර අවම කිරීම ද සුබයි. තමා අදහන ආගම පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්න.

කුම්භ-බිඳවැටුණු ව්‍යාපාර යළි නඟා සිටුවයි

යහපත් රැකියා පල උදාවේ. විසිතුරු දේ පිළිබඳව සිත යොමුවේ. වාහන පල නව නිවාස පල මෙන්ම අලංකාරය සඳහා වඩාත්ම සිත යොමුවන කාලයකි. තම අයිතීන් වෙනුවෙන් පෙනී සිට වරප්‍රසාද හිමි කර ගන්නවා ඇත. උසස් අධ්‍යාපනික ප්‍රතිඵල මෙන්ම ඉගෙන ගන්නා දරුවන් සිටින අයට තම දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ නිසා සිතට සතුට අභිමානය දැනෙනු ඇත. තමාද කිසියම් නව විෂයයක් පිළිබඳ ප්‍රවීණත්වයක් ඉසිලීමට සමත් වේ. නව ව්‍යාපාරයකට යොමුවේ. බිඳවැටී තිබූ ආදායම් මාර්ග නැවත පණ ගන්වා ක්‍රියාත්මක කිරීමට හැකි වේ. අලුත් අධ්‍යාපන ක්‍රමයකට සිත යොමුවේ. ඒ වෙනුවෙන් පිටරටකට පවා යාමට වාසනාව උදාවේ. ගෘහ ජීවිතය සතුටුදායක වේ. බොහෝ අයගෙන් ඇප උපකාර ලැබේ. සමාජ සේවා කටයුතු දේශපාලන කටයුතු කෙරේ යොමු වූ අයට බොහෝ ජයග්‍රහණ වරප්‍රසාද හිමිවනු ඇත. විවාහ ජීවිතයේ නව පරිවර්තනයක් මතු කෙරේ. දෙන්නා දෙමහල්ලන් අතර හොඳ හිත දියුණු වේ. තමා කෙනෙකුට දී තිබූ මුදලක් නැවත ලැබීම නිසා එය අලුත් ආයෝජනයකට යොමු කෙරේ. හිසට නිතර උවදුරු සෙම් රෝග නිසා අපහසුතා දැනේ. බඩ උෂ්ණතා නිසා නිතර නිතර පරීක්ෂණවලට පවා භාජනය වීමට ඉඩ තිබේ. රාත්‍රි කාලයේ ස්නානය , සීතල වතුර භාවිතය අවම කරන්න.

මීන- දේපොළ ගැටලු අවසන් වේ

ඉතා සුබ වෙයි. ආර්ථික ප්‍රතිලාභ හිමිවේ. යහපත් මානසික සුවයක් හිමිවේ. ආගමික නායක උතුමන්ලාගේ අනුශාසනා මත බොහෝ යහපත්කම් වලට මුහුණ දීමට හැකිවේ. යහපත් ව්‍යාපාරවල නව ආයෝජනවලට මුහුණ දීමට වාසනාව උදාවේ. දේපළක් පිළිබඳ තිබූ ගැටලු අවසන් වේ. මහපොළොව ආශ්‍රිත හිමිකම් මෙන්ම මැණික් ගැරීම,වැවිලි කර්මාන්තය ආදි කටයුතු කෙරෙහි වාසනාව හිමිවනු ඇත. රැකියා යහපත මෙන්ම ඒ තුළින් උසස් වේතන හිමිකම් ද සහිතයි. තමා කලක් තිස්සේ ඉතිරි කරගෙන තිබූ මූල ධනයක් කිසියම් ප්‍රායෝගික ව්‍යාපාර කටයුත්තකට යොමු කෙරේ. ඒ තුළින් උසස් ආදායම් ලබයි. නව අධ්‍යාපන රටාවකට යොමු වේ. විවිධ විෂයයන් විවිධ භාෂා පිළිබඳ දැනුම පිළිබඳ උනන්දු වේ. ගෘහ ජීවිතයේ කටයුතු පහසුවේ. එහෙත් ඒවා වැඩි දියුණු වේ. තම විවාහ දිවියේ ගැටලු අවසන් වේ. බොහෝ අයගේ ඇප උපකාර තුළින් සමාජයට බොහෝ යහපතක් කිරීමට අවස්ථාව උදාවේ. දේශපාලනය කරන අයට සුබ වෙයි. තම ආගමික කටයුතු කෙරේ වැඩි සැලකිල්ලක් දක්වයි. ශරීර සෞඛ්‍ය අතින් බැලූ විට එතරම් අයහපත් නොවූවද පපුවට එළඹිය හැකි ලේ දෝෂ , නහරගත දෝෂ ඉවත්කර ගැනීමට තෙල් ආහාර සැර උෂ්ණ ආහාර අවම කර ඇඟ නිවෙන ආහාර පාන ගත යුතු වෙයි.

 

සුබසෙත පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ කර්තෘ අජිත් ධර්මසිරි

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital