Home දේශීය පුවත් මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින්

මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින්

by Free News
0 comment

මෙවර වෙසක් උත්සවය ‘බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය’ නමින් ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර ඇතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

‘බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය’ පිළිබඳ පෙරේදා (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

හුණුපිටිය, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය පල්ලේගම රතනසාර ස්වාමින් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද සහභාගී විය.

‘බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය’ 2023 මැයි 05, 06 සහ 07 යන තෙදින කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

ජාතික වෙසක් කලාපයක් ලෙස නම් කරමින් වැඩසටහන් රැසක් ද සමඟින් එය සංවිධානය කර තිබෙන බව පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පැවසූහ.

මැයි මස 5 වන දිනට යෙදෙන වෙසක් පොහෝ දින, ගංගාරාම විහාරස්ථානයේ සිල් සමාදන් කරවීමේ වැඩසටහන පැවැත්වෙන අතර වෙසක් කලාපය කොඩි, ධජ පතාක, අටපට්ටම් කූඩු සහ විදුලි බුබුළුවලින් සැරසීම, මල් පෙරහර පැවැත්වීම, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ඊට සමගාමීව සංවිධානය කර තිබේ.

බොදු බැති ගී ගායනය ජනාධිපති කාර්යාලය සහ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව පැවැත්වීමට නියමිත අතර ගංගාරාම විහාරස්ථානයේ සහ ජනාධිපති කාර්යාලය අසල වෙසක් දන්සැල් පැවැත්වීමට ද නියමිතය.

යහපත් අරමුණින් යුතුව සංවිධානය කරන මෙවර ‘බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය’ ආදර්ශවත් වෙසක් මංගල්‍යයක් වනු ඇති බව ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.

එමෙන්ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට වෙසක් මංගල්‍යය මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් උන්වහන්සේ රට ආර්ථික වශයෙන් යළි ශක්තිමත් වෙමින් පවතින මේ අවස්ථාවේ ධනාත්මකව සිතා යහපත් ප්‍රවේශයක් ලබා ගැනීමට සහ ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමට එය ඉවහල් වන බව පැවසූහ.

“බුද්ධ රශ්මි වෙසක් කලාපය” සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු දෙනාගේ සහාය ලබා ගැනීම අපේක්ෂාව වන අතර ඒ සඳහා සියලු දෙනා දායකවනු ඇති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ අනුග්‍රහය අපේක්ෂිත පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital