දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 107 වැනි ජන්ම දිනය අදට (17) යෙදී තිබේ
මැතිනිය යන ගෞරවාර්ථ බහුවචනය ප්‍රභූ කාන්තාවක ඇමැතීමට හෝ නමේ අගට යොදමින් ගරු කිරීම සිංහල බස් හුරුව වුවත් ලාංකිකයන්ට මැතිනිය යන තනි වචනය ඇසුණු විට මතක් වන්නේ නම් එකම එක කාන්තාවකි. ඒ ලොව පළමු කාන්තා අගමැතිවරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය හෙවත් ‘සිරිමාවෝ’යි.
එතුමියගේ චරිතාපදාන ගණනාවක් පළව තිබුණද අගමැතිවරියක ලෙස ගත කළ ඇගේ දිවිය ගැන පළව ඇති සේයා රූ ප්‍රමුඛ කොට සංස්කරණය කරන ලද එකම පොත පසුගියදා එළිදැක්විණි.
පිටු 410කින් සමන්විත දේශයක් මෙෙහයවූ සිරිමාවෝ ලෙසින් සිංහලට පරිවර්තනය කළ හැකි Sirimavo – steering the destiny of a nation නම් සේයා රූ වලින් කියැවෙන චරිතාපදානය බණ්ඩාරනායක කෞතුකාගාර කමිටුවේ ව්‍යාපෘතියක් ලෙස එළිදක්වා ඇත. ව්‍යාපෘතියේ කළමනාකරණයෙන් රන්ජිත් කබ්රායල් ද තොරතුරු ගවේෂණයෙන් සහ රචනයෙන් නාලක ගුණවර්ධන ද සේයා රූ සංස්කරණයෙන් සරත් පෙරේරා ද නිර්මාණ සංකල්පයෙන් ඩබ්.එම්.කේ. විජයබණ්ඩාර ද පිටු සැකැස්ම හා නිෂ්පාදනයෙන් ද ඩිසයින් මාස්ටර් ආයතනය ද මෙම දැවැන්ත කටයුත්තට සහභාගි වී ඇත.
මෙම කෘතියේ අරමුණ වී ඇත්තේ සිරිමාවෝ නම් දිරිය කතගේ, බිරියගේ මවගේ දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වූ රාජ්‍ය තාන්ත්‍රිකාවගේ විචිත්‍ර වූ දිවි සැරියේ සුවිෙශ්ෂ අවස්ථා එක් රැස් කර සංරක්ෂණය කර එය අනාගතයට වාර්තා කර තැබීම බව සඳහන් කර ඇත.
වෙන කවරදාකටත් වඩා මෙම කෘතිය වර්තමාන කාලයේ එළිදැක්වීම දෛවෝපගත දෙයක් ලෙස සිතෙන්නේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ, “ මැතිනිය ආරම්භ කළ වැඩපිළිවෙළ එලෙසටම ඉදිරියට ගෙන ගියා නම් මෙම තත්ත්වයට රට පත් නොවන්න තිබුණා”යි යන මතය පෘථුලව සමාජ මාධ්‍යවල කතා වෙන අතරම “මේ වන විට තිබෙන පෝලිම් හා සසඳන විට හැත්තෑව දශකයේ තිබුණේ කවර නම් පෝලිමක් දැයි?” අසන මැදිවියේ සිටින්නන් ද නිසාය.
අපට හොඳින් දැක පුරුදු බතික් සාරියකින් උඩරට ක්‍රමයට ඔසරියකින් සැරසී, හංසපූට්ටුවක් සහිත මාලයක් පැලඳ, කොණ්ඩය පිටුපසට කර බැඳ සිනහමුසු මුහුණකින් යමෙක් සමඟ කතා කරන සේයාරුවකින් ආරම්භ වී, ඇගේ අවසන් කටයුතු අවස්ථාවේ ඉතාම හැඟුම්බරව සිය සොයුරිය චන්ද්‍රිකා තුරුළු කරගෙන සිටින අනුර සහ බිමට බර නෙත් ඇතුව සිටින සුනේත්‍රා සිටින අතිශය සංවේදී සේයාරුවත් හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය ගොම්මන් මොහොතක ගත් ඡායාරූපයකින් අවසන් වන මෙම පොත පුරා මැතිනියගේ සේයා රූ සිය ගණනක් වේ.
ඒ සෑම සේයාරුවක්ම නිශ්චිත ලෙස හඳුන්වා දීමටත් ඒ අවස්ථාවේ සිටින අනෙක් සුවිශේෂ අයත් නම් කර දීමටත් සංස්කාරකවරුන් ගෙන ඇති උත්සාහය බෙහෙවින් අගය කළ යුත්තේ එමඟින් සමස්ත කෘතියේම ඓතිහාසික බව වැඩි වන නිසාය. එමෙන්ම ඒ සඳහා කවර නම් වෙහෙසක් දැක්විය යුතු ද කියා සිතාගත හැකි වන්නේ එම සේයා රූ වල සිටින බොහෝ දෙනකු මේ වන විට ජීවතුන් අතර ද නොසිටින බැවිනි.
බණ්ඩාරනායක මහතාගේ අභාවය පිළිබිඹු කර ඇත්තේ එතුමාගේ දේහය පාර්ලිමේන්තුවට ගෙන එන අවස්ථාවේ ඉහළක සිට ගන්නා ලද දුලබ ඡායාරූපයකිනි. එහි ජාතික කොඩියෙන් වසන ලද දෙණ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් විසින් ඔසවාගෙන එන ආකාරයත් ඒ පිටුපසින් ගමන් කරන මැතිනිය සහ දරු පවුලත් සෙසු ප්‍රභූන් ද නිරූපණය කර ඇත.
පොත පරිශීලනය කරන විට අපට එක්වනම නිරීක්ෂණය කළ හැකි වන්නේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ හෝ මැතිනියගේ හෝ මෘත දේහයන්ගේ සේයා රූ නැති වීමයි. නමුත් එම අවස්ථා දෙකම වාර්තා කර ඇත්තේ ඉතා සියුම් ඇසකින් බලා තෝරා ගන්නා ලද ඡායාරූප දෙකකින් වීම සුවිශේෂ කලාත්මක අධ්‍යක්ෂණයක්මය.
අප්‍රතිහත නායකත්වය සහ පරාර්ථකාමී සේවාව, ජගත් භූමිකාව, ධෛර්යයේ සහ අධිෂ්ඨානශීලිත්වයේ කැඩපත යන ප්‍රධාන තේමාවන් තුන තුළ ඒ ගුණාංග උද්දීපනය වන ලෙස ඉතා ප්‍රවේශමෙන් තෝරා ගත් ඡායාරූප සහ ඒ තේමාවන්ට උචිත දෙස් විදෙස් ප්‍රවීණයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් මැතිනිය ගැන විවිධ අවස්ථාවන්හිදී පළ කරන ලද අදහස් එක්කරමින් කර තිබෙන්නේ ඉතා ඉහළ පරිචයක් සහ කෘතහස්තභාවයකිනි. පොත හඳුන්වා දෙමින් ආචාර්ය රන්ජිත් කබ්රාල්, සිරිමාවන්ගේ සමස්ත ජීවන දර්ශනයම, පිළිවෙතම කැටි කරන ප්‍රකාශයක් ලෙස සැලකිය හැකි, 1980 ඔක්තෝබර 16 වැනිදා, ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේ කළ ප්‍රකාශය සටහන් කර ඇත.
“I shall take my leave with malice to none and sympathy for all who have been forced to deal with me harshly though their conscience spoke to them to otherwise” ‘මා මේ අවස්ථාවේ නික්ම යන්නේ කිසිවෙක් වෙත ද්වේශ නොකරමිනි. නමුත් තමන්ගේ හෘද සාක්ෂියට එරෙහිව මා කෙරෙහි නපුරු වන්නට සිදු වූ සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙනි.’
ඇගේ ලිපිගොනු වම් අතින් රැගෙන, එසවුණු හිසින් ඍජු කයින් විශ්වාසයෙන් කැබිනට් රැස්වීමට එන අයුරු සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ගනුදෙනු කිරීමේදී නොසැලෙන අයුරින් හෙට්ටු කරන අයුරු තමා දුටු බව සුනේත්‍රා බණ්ඩාරනායකගේ සටහනක් උපුටා දක්වා තිබිණි. එවන් අභීත නායකත්වයක් සහ දේශයට ආඩම්බරයක් ලෙස සැලකිය හැකි සුවිශේෂ කාන්තාවක් වෙනුවෙන් මෙලෙස ඉතා මහන්සියෙන් සොයාගත් තොරතුරු සංග්‍රහ කර නිර්මාණය කර ඇති මෙම කෘතිය, චරිතාපදානයකට ඔබ්බට ගිය සාර සංග්‍රහයක් ලෙස සැලකිය හැකිය.