ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් කවර හෝ වරදක් සම්බන්ධයෙන් පුද්ගලයකුට නියම කරන ලද මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන නොතැබීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ජනාධිපති ලේකම්වරයා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා දැනුම් දුන්නේය. ඒ අනුව දැනට මරණ දණ්ඩනය නියම වී සිටින පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දුන්නේ ය.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් වරදකරුවන් බවට තීරණය කර මරණ දඬුවම් නියම කරනු ලැබ සිටින සිරකරුවන් එල්ලා මැරීමට, ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා විසින් මෙම ප්‍රතිඥාව දෙන ලදි.
විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම් ඊයේ (23) කැඳවන ලදි.
මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත්, මෙරට කුමන හෝ අධිකරණයකින් කුමන හෝ වරදක් සම්බන්ධයෙන් විත්තිකරුවකුට නියම කරන මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේය.
මරණ දඬුවම නියම වූ පුද්ගලයන් අතුරින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයන් තෝරාගැනීමේ ක්‍රියාවලියේදී ඇති වන ගැටලු සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් විය හැකි නමුත් ඊට පරිබාහිරව වන කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති සැකසීම ව්‍යවස්ථාදායකය විසින් කළ යුතු බවත් මෙම පෙත්සම් මඟින් ප්‍රශ්න කර ඇති ආකාරයේ කරුණු නැවත මතු නොවන පරිදි කටයුතු කිරීම ව්‍යවස්ථාදායකයේ වගකීම බවත් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙවැනි ස්ථාවරයක් අනුගමනය කළද ඉදිරියේදී පත් වන ජනාධිපතිවරුන් කුමන ස්ථාවරයක් ගනීද යන්න සම්බන්ධයෙන් සහතික විය නොහැකි බවයි.
එබැවින් මේ පෙත්සම් ඉල්ලා අස් කරගැනීමට අදහස් නොකරන අතර, මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම සඳහා වන නීතිපතිවරයාගේ ප්‍රතිඥාව සටහන් කරගැනීමෙන් අනතුරුව මේ පෙත්සම් විභාගය අවසන් කිරීමට එකඟ වන බව ඔවුහු ප්‍රකාශ කළහ.
එහෙත් අවශ්‍යතාවක් මතු වුව හොත් මෝසමක් මඟින් මේ පෙත්සම් නැවත කැඳවීමේ අයිතිය පෙත්සම්කරුවන් වෙත රඳවා ගන්නා බවද ඔවුහු සඳහන් කළහ. ඒ අනුව කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය.
දැනට මරණ දඬුවම නියමව සිටින එස්. ගනේෂ් , මොහොමඩ් මිතාර්, හනීෆා ප්‍රහීම් නවාස්, එස්.ඒ සුරේෂ් කුමාර්, සුබ්‍රමනියම් ප්‍රනියමූර්ති, කේ.එච්. ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ. ජයතිලක , එන්. ඒ. නිශාන්ත අල්විස් යන තැනැත්තන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න, ආචාර්ය කලණ සේනාරත්න යන සිවිල් ක්‍රියාකාරීන් විසින් මේ පෙත්සම් ගොනු කර තිබිණි.
මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති, අධිකරණ අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් නම් කර සිටියහ.
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිපවරක් ප්‍රතිඥා දී ඇති බව පෙත්සම්කරුවෝ කියති. මේ වන විට මරණ දඬුවම නියම වූ 160,0ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛනවල සඳහන් වේ. මේ අතර එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු වී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනකු එල්ලා මැරීමට අස්සන් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කෙරිණි.එහෙත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නැත.
මේ ක්‍රියාව ශ්‍රී ලංකාව අස්සන් කර ඇති අන්තර් ජාතික ප්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමක් බවත් මෙලෙස මරණ දඬුවම ලැබු සිරකරුවන් අතුරින් සිව්දෙනකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම් මඟින් පැමිණිලි කර තිබුණි.
එැබැවින් එම ක්‍රියාව හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉල්ලා තිබූ අතර, පෙත්සම් මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේ අදාළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලදි.
ගෞරි සංගරී තවරාසා නීතිඥ සමාගමේ උපදෙස් මත පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ සුමන්තිරන්, සාලිය පීරිස්, සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.