බස්නාහිර පළාත තුළ ඩෙංගු මදුරු කීට ඝනත්වය බිටෝ දර්ශකයේ 20ත් 25ත් අතර සංඛ්‍යාවක් වන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවසීය.
මදුරු කීට ඝනත්වයේ සාමාන්‍ය අගය වනුයේ බිටෝ දර්ශක 5 බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති බවත්, බස්නාහිර පළාත තුළ එම අගය 25ක පැවතීම ඩෙංගු වසංගතයක් බවට පත් වීමේ ලක්ෂණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
වර්ෂ 2023 ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 35,000ක් පමණ වාර්තා වී තිබේ. ඩෙංගු මදුරු කීට ඝනත්වය වැඩි වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දිනෙන් දින ඉහළ යන බවත්, වර්ෂාවේ අඩු වීමත් සමඟ මදුරුවන්ගේ බෝ වීම ඉහළ යන බවත් හෙතෙම කීය. නිශ්චල ජලය සහිත පිරිසිදු ජලය රැඳෙන ස්ථානවල ඩෙංගු මදුරුවන්ගේ බෝ වීම සිදු වන බව ද ඒ මහතා පැවැසුවේය. ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් කොතරම් ක්‍රියාත්මක කළද, ප්‍රජාවගේ දායකත්වය ඒ සඳහා අඩු වන්නේ නම් වැඩසටහන් සාර්ථක කරගැනීමේ ගැටලුවක් පවතින බවද ඔහු පැවසීය. සමස්තයක් ලෙස රට පුරාම ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර මඩකලපුව දිස්ත්‍රික්කයේද ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. සුගුණන් මහතා පැවසීය.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්කයේ කොට්ඨාස 14ක ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් මේ වසරේ ආරම්භයේ සිට කාලය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,150 ක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇත. මන්මුනේ ප්‍රාදේශීය සභා ලේකම් වයි. සර්වේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්මුනේ ප්‍රාදේශීය සභාවට අයත් ආරයම්පඩි, කාංගේයානෝඩෙයි වැනි ගම්මානවල සහ ඩෙංගු රෝගීන් වැඩි වූ ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මේ වැඩසටහන සඳහා ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු සහ සේවක සේවිකාවෝ, ආරයම්පති මහජන සෞඛ්‍ය නිලධාරීහු, අරිකාරි කාර්යාල නිලධාරීහු සහ ග්‍රාම සංවර්ධන සංගම්, බැංකු කළමනාකරුවෝ, යුද හමුදා නිලධාරීහු, කාන්කෙයනෝඩයි ප්‍රජා මධ්‍යස්ථාන සාමාජිකයෝ සහ මහජනතාව සහභාගි වූහ.