Home දේශීය පුවත් නුවරඑළියට නව සංචාරක සැලැස්මක්

නුවරඑළියට නව සංචාරක සැලැස්මක්

by Free News
0 comment

රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් වසර 2025 ඉලක්කගත සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා ගැනීම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරවී සියලු දෙනා පෙළ ගැසිය යුතු යැයි ද ජනාධිපතිවරයා එහිදී කීය.

නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ ඊයේ (10) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම සහ නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීම ද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය ඇතිකරගත් එකඟතාව සමඟ නැවත රටේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලුදෙනාට අවස්ථාව ලැබුණු බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ෂණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් එම සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.

නුවරඑළිය නගරයේ වැසි ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලීන ගැටලුවක් වන අතර ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පානීය ජල ගැටලුව විසඳීමට ද විශේෂ අවධානය යොමුකරන ලෙස උපදෙස් දුන්නේය.

නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ඉදිකිරීම් සිදු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් නගරය විනාශ වී ඇති බවත් එය නිව්යෝර්ක් නගරයක් කරනවාද නුවරඑළිය ලෙස පවත්වාගෙන යනවාද කියා තීරණය කළ යුතු බවත් පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු අවසන් වීමත් සමඟ නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ පහසුකම් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් යටතේ කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.

ආයෝජකයන්ට හෝ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් පරිසර හිතකාමී සහ සැලසුම්සහගත සංවර්ධනයක් දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා පෙළගැසිය යුතු බවත් සඳහන් කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සියලු අමාත්‍යාංශ ලේකම්වරු, අධිකාරි සහ කොමිෂන් සභාවල සභාපතිවරුන් මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 ඉලක්කගත සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීම තම අපේක්ෂාව බව කියා සිටියේය.

තිරසර සහ සෞම්‍ය සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් නුවරඑළිය දිස්ත්‍රික්කය පරිසර හිතකාමී දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම යටතේ නගරයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු සහ උප නගරයක් ලෙස නානුඔය නගරය සංවර්ධනය කිරිම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

වන සංරක්ෂණ කලාප එ‍ෙලසින්ම ආරක්ෂා කර ගනිමින් හරිත නගරයක් ලෙස නුවරඑළිය සංවර්ධනයට සැලසුම් කර තිබෙන අතර නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් අනු නගර 05ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සහ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් රාමායන මධ්‍යස්ථානයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

නානුඔය දුම්රියපොළ නවීකරණය කර ඒ සමීපයේ උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර එමගින් එළවළු ඇසුරුම් කර සුරක්ෂිතව කොළඹට ප්‍රවාහනය කිරීමට ගොවීන්ට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.

තුරඟ තරග පිටිය සහ වැව සංවර්ධනය, වැව අසල රථගාල් පහසුකම් වැඩි දියුණු කිරීම, නුවරඑළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නංවා ඔවුන්ගේ ජීවිත නගාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, සී.බී. රත්නායක, වී.එස්. රාධක්‍රිෂ්ණන්, එම්. රමේෂ්වරන් යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital