එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම් ප්‍රමුඛ ආයෝජකයන් පිරිසක් පසුගියදා(14) කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වූහ.
එහිදී වරාය නගර ව්‍යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් එම කණ්ඩායම සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ හා කොළඹ වරාය නගරයේ නියෝජිතයන් අතර සාකච්ඡා කිහිපයක්ද පැවැත්විණි.
මෙහිදී කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු වල වර්තමාන තත්වය නිරීක්ෂණය කරමින් එහි සැහැල්ලු යාත්‍රාංගණයෙහි සහ පදික මංතීරුවෙහි සංචාරයක යෙදුණු දූත පිරිස, ව්යාපෘතියේ මධ්‍ය සහ දිගු කාලීන ආයෝජන උපාය මාර්ග සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. වණිජ සහ නොයෙකුත් නවමු වූ අවස්ථා රාශියක් සමගින්, හෙක්ටයාර 269 ක් පුරා ගොඩනැගෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙම කලාපයේ නව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ ඔස්සේ රැකියා අවස්ථා මෙන්ම විවිධ නව විදේශ ආයෝජන ඇතුළු ප්‍රතිලාභ රාශියක් මෙරටට ජනනය කෙරීමේ හැකියාවක් ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධව මෙහිදී ඔවුහු තමන්ගේ විශේෂ ප්‍රසාදය සහ උද්යෝගය පළ කර සිටියහ.
“මෙම ඉහළ පෙළේ දූත පිරිස කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වීම අපට මහත් සතුටක්. මෙම ව්‍යාපෘතිය තුළ පවතින අවස්ථා ඔවුන්ට පෙන්වා දීමට අපට හැකි වුණා. මෙම සංචාරය, කොළඹ වරාය නගර ව්යාපෘතිය සම්බන්ධයෙන් ලෝකයේ උනන්දුව ඉහළ යමින් පවතින බවට ඉතා හොඳ සාක්ෂියක්. ඉදිරියේදී තවත් ආයෝජකයන් මෙහි පැමිණෙනු ඇතැයි කියා අප සිතනවා. එමෙන්ම 2023 වසරේ අප්‍රේල් මාසය වනවිට, කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” CHEC Port City Colombo (පුද්ගලික) සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා පැවසීය.
මෙම දූත පිරිසට ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම්ගේ උපදේශක ලූක් සෙල්වුඩ් මහතා සහ efiscal ආයෝජක සහ හවුල්කරු ඉවාන් ශ්කාර්බා මහතාද ඇතුළත් වූහ. ඉවාන් මහතා දැනටමත් ෂෙයික්වරයා සමග වෙනත් ව්‍යාපාර වලද ආයෝජනය කර ඇත.
ශ්‍රී ලංකාවට වර්ග කිලෝමීටර් 2.69 ක භූමි ප්‍රදේශයක් එක්කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන මත ක්‍රියාවට නැංවූ ව්‍යාපෘති අතරින් විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකේ. මෙහි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2023 වසරේ 3 වන කාර්තුව වනවිට අවසන් වීමට නියමිතව ඇත. ව්‍යාපෘති සමාගම මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක සමස්ත දායකත්වයක් දක්වන අතර, දැනටමත් ඉන් ඩොලර් බිලියන 1.2 ක් මේ සඳහා ආයෝජනය කර තිබේ.
නියාමන කටයුතු සම්පූර්ණ වූ වහාම මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමට නියමිත වන අතර, ඒ සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ආයෝජනය කෙරෙනු ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 7 ක විදයමකින් ඉදිකර 2023 වසරේ අප්‍රේල් මාසයේදී විවෘත වීමට නියමිත තීරුබදු රහිත සාප්පු සංකීර්ණය, දකුණු ආසියාවේ එම වර්ගයේ ප්‍රථම සාප්පු සංකීර්ණය ලෙස සැලකේ. මෙය පාරිභෝගිකයන් සහ සංචාරකයන් විශාල වශයෙන් ආකර්ෂණය වන ස්ථානයක් බවට පත්වනු ඇත.