Home දේශීය පුවත් ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටිනවා – ජනපති

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටිනවා – ජනපති

by Free News
0 comment
ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති “ DIGIECON 2030” එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධාන කර තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව එළිදැක්වූ “ DIGIECON 2030”, ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ රටේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයන් සහ නවෝත්පාදන විසඳුම් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බැවින් තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරනු ඇත.
DIGIECON 2030” මගින් අලුතින් විවිධ ක්ෂේත්‍රවල ආරම්භ වූ නව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 50 දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසකට ගෝලීය ආයෝජන සහ වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් සකසනු ලැබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල හා අනෙකුත් පර්යේෂණ ආයතන ඒකාබද්ධ කර ඩිජිටල් ප්‍රතිපත්තිය සැලසුම් කිරීම ආරම්භ කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 100ක් වෙන් කරන බවයි. එසේම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීමට ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
නාස්ති කිරීමට කාලයක් නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අසල්වැසි රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් , ඉතා වේගයෙන් දියුණු වන කලාපයක් ලෙස විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත් පෙන්වා දුන්නේය.
ඉහළ තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ හරිත ආර්ථිකයක් මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් තරගකාරී වීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට නව තාක්ෂණයන් සහ නව්‍ය විසඳුම් වැළඳ ගත යුතු බව ද පැවසීය.
එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාව සැබෑ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර තිබෙන බව “DIGIECON 2030” විසින් සහතික කරනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ “ DIGIECON 2030” ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බවයි.
“ DIGIECON 2030” හරහා, සියලුම පාර්ශ්වකරුවන්ට ඩිජිටල් පරිසර පද්ධතියකට පහසුකම් සැලසීම සඳහා රජයේ කැපවීම සහ මඟ පෙන්වීම් ලබා දෙමින් ආයෝජන සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩ නැඟීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඩිජිටල් පරිවර්තනයකට තුඩු දෙන සහ මානව කේන්ද්‍රීය තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් හවුල්කාරිත්වයන් ගවේෂණය කරන ව්‍යාපෘති මාලාවක් වෙනුවෙන් රජය පෙරමුණ ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.
කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, අලි සබ්‍රි, කංචන විජේසේකර , රමේෂ් පතිරණ, නසීර් මො‍හමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, අරවින්ද් කුමාර් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital