ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් 56 වන වරට සංවිධානය කර තිබුණි.
රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා – කෙත්වතු සාර වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂි කර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.
අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිවරයා පළමුව ජය ශ්රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදිණි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.
සාම්ප‍්‍රදායිකව ජය ශ්රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසුදු මී පැණි බඳුන උරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ජය ශ්රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ජනාධිපතිවරයාගේ වයසට සමාන කරලින් පිරි වී කරල් මිටියක් පාරම්පරික වී ගොවි ජනතාව සුරැකීමේ සංවිධානයේ සභාපති චින්තන විලේගොඩ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.
පළාත් 09ම ආවරණය වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ බීජ වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය සමරු කලාපයේ ඩිජිටල් මුද්‍රණය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.
රුවන්මැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ, ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, උතුරු මැද පලාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් රෝචන දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.