මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට සහ ආගමික කටයුතු සඳහා පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම 20 වැනිදා සිට ගාලුමුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලුමුවදොර පිටිය භාවිත කිරීමට අවසර ලබා නොදීමට ඇමැති මණ්ඩලය විසින් තීරණය කළ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මහජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව නිදහසේ හුස්ම ගන්නා ස්ථානයක් බවට ගාලුමුවදොර පැවතුණු බවත්, එහෙත් පසුගිය සමයේ සිදු වූ සංගීත සංදර්ශන, අරගල නිසා ගාලුමුවදොර පිටියට විශාල වශයෙන් හානි වී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වශයෙන් ගාලුමුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර, මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කරනු ලැබ ඇතැයි හෙතෙම කීවේය.
පසුගිය අරගල කාලසීමාව තුළදී සිදු වී ඇති දේපොළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කරනු ලැබ ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.
ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු මින් ඉදිරියට එම භූමියේ පැවැත්වීමට අවසර හිමි නොවන බව ඇමැතිවරයා සඳහන් කළේය.