පෑලියගොඩ ප්‍රදේශයේ කුප්‍රකට මත්කුඩු ජාවාරම්කාරියක වන කුඩු රමණි නමැත්තියගේ නිවෙසට ඊයේ (17) උදෑසන කඩාවැදුණු තුවක්කුකරුවකු නිදි ඇඳේ සිටි ඇගේ බෑනාට වෙඩි පිට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇත. මෙසේ ඝාතනය වී ඇත්තේ ‘ක්ලච් රංග’ නමැති පාතාලයට සම්බන්ධ මත්කුඩු ජාවාරම්කරුවකු බව පෑලියගොඩ පොලිසිය කියයි.
රතු පැහැති ආරක්ෂක හිස් වැසුමක් දමාගෙන මුහුණ හඳුනා ගැනීමට නොහැකි වන ලෙස මාස්ක් එකක් පැලඳ කළු පැහැති ජැකට්වලින් සැරසී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු විසින් උදෑසන 6.30ට පමණ නිවෙසට ඇතුළු වී ඔහු නිදා සිටි කාමරයටම ගොස් මේ වෙඩි තැබීම කර ඇති බව පොලිසිය කියයි. වෙඩි තැබීමට මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර ක්ලච් රංගගේ පපුවටම වෙඩි තුනක් තබා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
ක්ලච් රංගට වෙඩි තබන විට ඔහු නිදා සිටි ඇඳේ බිරිය සහ දරුවකුද සිට ඇති බවත් ඒ අයට මේ වෙඩි තැබීමෙන් කිසිදු හානියක් වී නැති බවත් පොලිසිය කියයි. පෑලියගොඩ බියගම පාරේ කළු පාලම ආසන්නයේ පිහිටි මේ නිවෙස ඉදිරිපිට උදෑසන නතර කරනු ලැබූ යතුරුපැදියක පසුපස රැඳී සිටි පුද්ගලයකු නිවෙසට ඇතුළු වන ගේට්ටුව විවර කරගෙන නිවෙසට ඇතුළු වී ඇත්තේ පළපුරුදු අයකු ලෙස බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ක්ලච් රංග නිදා සිටි කාමරයටම ගොස් වෙඩි තබා යතුරුපැදියේ නැඟී ඔහු පලා යන විට ඔහු පසුපස නිවැසිෙයක් දිව ආවත් ඔවුන් නිදහසේ පලා ගොස් ඇති බව පොලිසිය කියයි. යතුරුපැදිය එම නිවෙස ඉදිරිපිට නතර කරන අයුරු සහ වෙඩික්කරු නිවෙසට ඇතුළු වී වෙඩි තැබීමෙන් පසු පලා යන අයුරු ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති බවද පොලිසිය කියයි.
බෝම්බ ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් පොලිසියට හසුවී බන්ධනාගාරගතව සිටි ක්ලච් රංග නමැත්තා ඇප මත නිදහස ලබා පැමිණ ඇත්තේ පසුගිය 04 වැනිදාය. ඔහු ඇප ලබා නිවෙසට පැමිණ ඇති බව මේ වෙඩි තැබීම සිදු වනතුරුම පොලිසියද දැන සිට නැත.
ක්ලච් රංග නමැත්තාට එරෙහිව මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. කිරිබත්ගොඩ පොදු වෙළෙඳපොළේ පොලියට මුදල් දීමේ ව්‍යාපාරයක නිරතව සිටි පොලී චමිල නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත්තේ ක්ලච් රංග නමැත්තාටය. මාබිම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ක්ලච් රංග නමැත්තා කුඩු රමණිගේ දියණිය සමඟ විවහා වීමෙන් පසු පදිංචිව සිට ඇත්තේ ඝාතනයට ලක්වූ මේ නිවෙසේ බව පොලිසිය කියයි. වෙඩි තැබීමෙන් පසු ඔහුව කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහු මියගොස් ඇත්තේ එහිදී බව පොලිසිය කියයි. මේ ඝාතනය ඩුබායිහි රැඳී සිටින පාතාල අපරාධකරුවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව සිදුව ඇති බව පාතාල අපරාධ විමර්ශනවල නිරතව සිටින පොලිස් කණ්ඩායම්වලට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. හඳුනාගෙන ඇති ආකාරයට අනුව එම පාතාල අපරාධකරු ලහිරු නමැති අයෙකි.
පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට අමතරව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වෙඩි තැබීමට සම්බන්ධ අපරාධකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.