උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කාර්යයට ප්‍රධාන නගරවල පාසල් දෙසියයක් යොදා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා තිබේ. මින් පෙර අදියර දෙකක් යටතේ ඇගයීම් ක්‍රියාවලිය පවත්වා ගැනීමට සැලසුම් කර තිබූ නමුත් ඇති වූ ප්‍රමාදය මත එකවර ඇගයීම් ආරම්භ කිරීමට සැලසුම් කිරීම මෙම ඉල්ලීමට හේතු වී ඇත.
මෙම පාසල්වල ප්‍රාථමික අංශ වසා නොදමා හය වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති ඇගයීම් සඳහා යොදා ගැනීමට දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වේ. මීට අමතරව නගරාසන්නයේ ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කිහිපයක් ද ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමටද දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
නගර දහයක පිහිටුවා ඇති මධ්‍යස්ථානවල විෂයයන් හතක ඇගයීම් මේ වන විට ආරම්භ කර ඇති අතර සෙසු විෂයයන්වල ලකුණු පටිපාටි සකස් කිරීමේ කටයුතු ද දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇත. ලකුණු පටිපාටි සකස් කිරීමේ කටයුතු සඳහා අවම වශයෙන් සති දෙකක්වත් ගත වනු ඇති බවද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීවේය. ප්‍රධාන විෂයයක ලකුණු පටිපාටි සකස් කිරීම සඳහා ආචාර්ය මහාචාර්යවරු හත්අට දෙනෙක් සම්බන්ධ විය යුතු වීම ඊට හේතු වී තිබෙන අතර එක් ප්‍රධාන විෂයයක ලකුණු පටිපාටි සකස් කිරීමට සහභාගි විය හැක්කේ සති දෙකකින් බවට අදාළ මහාචාර්යවරු දෙපාර්තමේන්තුවට දන්වා තිබෙන බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග කීවේය.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ මෙම මස 29 වැනිදා ආරම්භ කර ජුනි මස 8 වැනිදා දක්වාය. ඊට පෙර උසස් පෙළ ඇගයීම් අවසන් කිරීමට නොහැකි වුවහොත් විභාග කාලසීමාවේ ඇගයීම් අත්හිටුවා විභාගයෙන් පසුව ආරම්භ කිරීමට නියමිතය.
උසස් පෙළ විෂයයන් හැට තුනක උත්තර පත්‍ර ඇගයීම් කළ යුතු වන අතර ඇගයීම් ආරම්භ කිරීමට නියමිත වූයේ ඉකුත් පෙබරවාරි මස 22 වැනිදා ය.