ඉන්ධන සඳහා අප්‍රේල් මාසයේ දී ජනතාවට දැනෙන සහනයක් ලබා දෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.
ඉන්ධන සූත්‍රය අඛණ්ඩව පවත්වාගෙන ආ බවත් එය මාර්තු මාසයේද ක්‍රියාත්මක කළ බවත් හෙතෙම කීවේය.
ජනවාරි මාසයේ විදුලි බිලේ සංශෝධනයක් කර තිබුණේ නම් ජූලි මාසයේ ද විදුලි බිලට යම් සංශෝධනයක් කරන්න තිබුණු බව පැවැසූ ඒ මහතා, එය කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ විදුලි බිලට ද දැනෙන සංශෝධනයන් සිදු කරන බව සඳහන් කළේය.
ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේ දී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
බොරතෙල් මිල පහළ යෑමත්, රුපියල ස්ථාවර වීමත් යන කරුණු සැලකිල්ලට අනුව යමින් ඉන්ධන සඳහා සහන ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් දුන් බව ඇමැතිවරයා කීවේය.
විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ කිසිසේත් පසුපසට නොගන්නා බවත් එය අනිවාර්යෙන්ම සිදු කරන බවත් විජේසේකර මහතා පැවැසීය. ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ තරගකාරිත්වයක් ඇති කිරීම සඳහා ඉදිරි සති දෙක තුන ඇතුළත ජාත්‍යන්තරව පිළිගත් සැපයුම්කරුවන් තිදෙනෙක් මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දෙන බව ද ඒ මහතා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
අවුරුදු ගණනක සිට තෙල් ගවේෂණය ගැන කතා කරනවා. මැතිවරණ එන කොට එය කරළියට එනවා. සමහරු කිව්වා පළාත් පාලන මැතිවරණය නිසා යළි එළියට ඇවිත් කියලා. අපි මැතිවරණ ඉලක්ක කරගෙන කිසිම දෙයක් කරලා නැහැ. හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාටත් මේ සඳහා දුන් දායකත්වයට ස්තුතිය පුදකර සිටිනවා. අපි කිසිම ආයෝජනයක්, සංවර්ධනයක් ප්‍රයෝජනයක් නොගෙන සම්පත් ආණ්ඩුවේම තියා ගන්න ඕන කියනවා. හැබැයි ඉන් කිසිම ප්‍රයෝජනයක් අරගන්නේ නැහැ. මේ රෙගුලාසි සංශෝධනය කිරීමත් සමඟ ලෝකයේ දැවැන්ත ආයෝජකයන්ට අවස්ථාව ලැබෙනවා මෙහි ආයෝජනයන් කරන්න. අපි මේ අවස්ථාව ලබා දෙන්නේ කැණීම් කටයුතු කරන්න. ඒ වගේම ඔවුන් ලබා ගන්න දත්ත අනුව අවුරුදු 20කට ආයෝජනය කරන්න කැමති නම් ඒ සඳහා ඉඩ දෙන්න. ඒ සියල්ල සිදු වෙන්නෙත් ආණ්ඩුව සමඟ. ගුවන්, මුහුදු මට්ටමින් පරීක්ෂණ කරලා තිබෙනවා. එම දත්ත බලලා ආයෝජන අවස්ථා සඳහා ඉල්ලුම්කරුවන් හය දෙනෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මෙය අපේ ප්‍රයෝජනයට ලබා ගන්නව වගේම අතිරික්තය අපනයනය කරන්නත් කටයුතු කරනවා. ආයෝජකයන් එනකොට පහසුකම් සැලසිය යුතුයි. ටැංකි ටික තියාගෙන විතරක් ඉඳලා වැඩක් නැහැ. මෙය දියුණු කරන්න පෞද්ගලික, රාජ්‍ය සෑම අංශයක්ම එකතු කරගෙන දියුණු කළ යුතුයි. උදයගම්මන්පිල හිටපු ඇමැතිවරයා මේ ගිවිසුම නවීකරණය කරල තෙල් ටැංකි 14ක් අවුරුදු 50ක් සඳහා ලංකා අයිඕසී සමාගමට ලබා දීලා තිබෙනවා. 64ක් ඒකාබද්ධ ගිවිසුමක තිබෙනවා. තව 24 තිබෙනවා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට. අපි බලාපොරොත්තු වෙනවා 64 කොටසටත්, 24 කොටසටත් ආයෝජකයන් ගෙන්ව ගෙන එය කඩිනම් කරන්න.