පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා ඊයේ (7) පෙරවරුවේ යමින් සිටි පෙර පාසල් ගුරුවරියකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා සෙනෙවිරත්න නමැති විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකි. නිවෙසේ සිට ඉළුක්තැන්න ප්‍රදේශයේ පිහිටි පෙර පාසලට යමින් සිටි ගුරුවරියගේ ගෙල යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු ගිනිහේන සුසාන භූමිය අසලදී කපා දමා ඇති අතර, ඉන් පසු ඇය තමා බේරාගන්නා ලෙස පවසමින් මීටර් 100ක් පමණ දුරක පිහිටි සිය නැන්දාගේ නිවෙස වෙත ගොස් තිබේ.
ගෙල ප්‍රදේශයේ බරපතළ තුවාල සමඟ ඉළුක්තැන්න රෝහලට ඇතුළත් කරන ලද තරුණිය එහිදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ගුරුවරිය ඝාතනයට ලක්ව ඇත්තේ තම නිවෙසේ සිට මීටර් 700ක පමණ දුරින් බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. ඇය නිවෙසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර, ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ගනිමින් සැකකරු හඳුනාගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙය ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් සිදු වූ ඝානතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය සැක කරයි.