ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමත් සමඟ රට පුරා ඉකුත් මැයි 9 දා ඇති වුණු නොසන්සුන් තත්ත්වය හමුවේ පංචිකාවත්තේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ගමන් කරමින් සිටි මෝටර් රථයකට පහර දී මෝටර් රථයේ කොටස් ගලවා ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (19) අත්අඩංගුවට ගෙන ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාහනයට ගිනි තැබීම සම්බන්ධයෙන් මෙයට පෙර කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි. ඒ අනුව මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගන්නා පළමු සැකකරුවන් වන්නේ මොවුන් දෙදෙනාය.
මෙදින නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ඔහුගේ රියැදුරුත් ජීවිතය රැක ගන්නේ අසල නිවෙසකට ගොසිනි. එම නිවැසියන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ආරක්ෂා කර නොගන්නට ඔහුගේ ජීවිතයට හානියක් සිදු වීමට තිබුණු ඉඩකඩ බොහෝ බව එකල කියවිණි.
පොලිස් දෙපාර්තමේන්තුවට අයත් මෙම මෝටර් රථය ගිනි තැබීමෙන් මුළුමනින්ම පාහේ හානි වී තිබුණු බව පොලිසිය සඳහන් කළේය.
මේ අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත ලක්සෙත සෙවණ තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු වන ජේ.එෆ්.එම්. සියාම් (31) නමැති ත්‍රිරෝද රථ රියැදුරකු සහ එම තට්ටු නිවාස සංකීර්ණයේම පදිංචිකරුවකු වන වෙළෙඳසල් සේවකයකු වන එම්.එන්.එම්. රහ්මාන් (18) නමැති සැකකරුවන්ය.
මෙදින පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිස් අධිකාරීවරයකුට පහර දී ඔහු ගමන් කරමින් සිටි රථයට ගිනි තබා රාජකාරි ගිනි අවිය ද කලහාකාරි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබිණි. එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර සිදු වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේය.
පැහැරගත් ගිනි අවියද මාලිගාවත්තේ පැදිංචිකරුවකු වන 18 හැවිරිදි වියේ පසු වන සැකකරුවකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙයට පෙර සොයාගනු ලැබීය. පහරකෑමට ලක් වූ පොලිස් අධිකාරිවරයා සති දෙකක පමණ කාලයක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලබා තිබිණි.
@@@