තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තතරගාවලියකට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරන ලද්දේ අදාළ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි.
මූලික සැලසුමට අනුව මෙම තරග සංචාරය යටතට එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 2 ක් පැවැත්වීමට නියමිත වූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ටෙස්ට් තරග 2 ක් පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබේ.
මෙම තරගාවලිය සඳහා අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ආරම්භ වේ. 20 වැනිදා දක්වා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය 24 වැනිදා ආරම්භව 28 වැනිදා දක්වා පැවැත්වේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ගත් 11 වැනි රට ලෙසින් අයර්ලන්තයට 2017 වසරේදී ටෙස්ට් වරම් හිමි වුවද ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරනු ලබන්නේ පළමු වතාවටය. මීට පෙර අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණඩායම් එක්දින ජාත්‍යන්තර තරග 4 කදී මුණ ගැසී ඇතත් ඒ සියල්ලෙන්ම ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.
ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් අනතුරුව අයර්ලන්ත කණ්ඩායම පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගය බැගින් ක්‍රීඩා කර ඇතත් එම තරග 3 න්ම පරාජයට පත්ව තිබේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ටෙස්ට් තරග ඉතිහාසයේදී තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරනු ලබන පළමු තරගාවලිය ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.